හැඳින්වීම…

කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය දකුණු පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය ලෙස හැදින්විය හැක.

මානව, මූල්‍ය හා භෞතික සම්පත් සැලසුම්ගත ලෙස කළමනාකරණය තුලින් ආර්ථික හා සමාජීය සංවර්ධනයක් දකුණු පළාත තුල ඇති කිරීම මඟින් මහජනතාවගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමටත් දිනෙන් දින වෙනස් වන ලෝකයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හැකි පරිපූර්ණ රාජ්‍ය සේවයක් ඇති කිරීම අනිවාර්යය අවශ්‍යතාවයක් වී ඇත.

මෙම අරමුණු කරා ලඟාවීම සඳහා ඉලක්කගත සැලැස්මක් තුල කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නැගී එසේ ඉලක්කගත සැලැස්මක් තුල කටයුතු කිරීම සඳහා කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය සම්ප්‍රධායක ක්‍රමයෙන් බැහැරව නව මුහුණුවරකින් පුහුණු වැඩසටහන් මෙහෙයවීම සිදු කරයි.

වක්වැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය 2000.04.07 වන දින ස්ථාපිත කර ඇති අතර, දකුණු පළාතේ 52000 ක් පමණ වන සමස්ථ රාජ්‍ය සේවක මණ්ඩලයක් උදෙසා පිහිටුවන ලද ප්‍රමුඛතම පුහුණු ආයතනය ලෙස ක්‍රියා කරයි. ඒ අනුව වක්වැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය, පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සංවර්ධන සහ පුහුණු කිරීම් පිළිබඳ සමස්ථ වගකීම දරයි.

අප ආයතනය, 1990.03.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ අංක. 14/90, 2001.05.29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක, 11/2001 සහ 1990.02.28 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක.12/90 යටතේ විස්තර කර ඇති ජාතික රාජ්‍ය සේවා පුහුණු ප්‍රතිපත්තිය සහ දකුණු පළාත් සභා ප්‍රඥප්ති, අනුව ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාලක මණ්ඩලය සහිත රාජ්‍ය සංවිධානයක් ලෙස අදාළ වන සියලුම රෙගුලාසි සහ ක්‍රියා පටිපාටිවලට බැදී ඇත.

අපගේ දැක්ම

ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය බවට පත් වීම.

අපගේ මෙහෙවර

සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම වෙනුවෙන් දකුණු පළාතේ මානව සම්පත වැඩි දියුණු කිරීමෙහි ලා පොදු, පෞද්ගලික, සේවාමය හා ආයතනික අවශ්‍යතා මත පදනම්ව ඉහළ මට්ටමේ ගුණාත්මකතාවයකින් යුතු පුහුණු හා උපදේශන සේවා සැපයීම, කළමනාකරණ සංවර්ධන ක්‍රමෝපාය හඳුන්වාදීම තුළින් පළාතේ තිරසාර සංවර්ධනයට දායක වීම.

අපගේ අගයයන්

  • සුහදශීලීතාවය
  • විනිවිදභාවය
  • කාර්යක්ෂමතාවය
  • නිර්මාණශීලීබව
  • වගකිවයුතුබව

අපගේ කාර්යභාරය

  • දකුණු පළාතේ ආයතනික මානව සම්පතෙහි දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීම.
  • කළමනාකරණ සංවර්ධනය සඳහා නිරන්තර යාවත්කාලීන පුහුණු හා උපදේශන සේවා සැපයීම.
  • රාජ්‍ය ආයතනවල සේවාවල ඵලදායීතාවය හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කිරීම.
  • රාජ්‍ය, රාජ්‍ය නොවන හා සිවිල් සංවිධාන අතර, දැනුම කුසලතාවයන් හා ආකල්ප හුවමාරු කර ගැනීමට සුදුසු වටපිටාවක් සැකසීම.
  • රාජ්‍ය, රාජ්‍ය නොවන හා සිවිල් සංවිධානවල වැඩමුළු පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.